Friday, December 9, 2011

කුරුඅඩිය

ටික කාලෙකට ඉස්සර ලස්සන ගම්මානෙක පොඩි ඉස්කෝලයක් තිබ්බ, එක එක පාට මල් පිපිච්ච , කොට තාප්ප බිත්ති තිබිච්ච පොඩි ලස්සන ඉස්කෝලයක්. ඉස්සර ඉදන් බලනකොට එක පැත්තක ඉකොලේටම තිබුන එකම පන්ති පෙළ, තව පැත්තක ලොකුම ලොකු ඔසු උයන, ඊට එහායින් සුදු පාට පිච්ච මල්, නැටුන් නටන පිට්ටනිය ඊළඟට තවත් එහායින් අර වතුර බොන ලිඳ ලඟට වෙන්න ..... ඒක තමයි ලොකු මහත්තය ඉන්න ගුරු නිවාස.

සුදු හුණු පිරියම් කරලා පොඩි පොඩි ජනේල තියල,ලස්සනට පිරිසිදුවට තිබුන ගුරු නිවස කොච්චර ලස්සනද කියනවනම් දකින කෙනෙකුට හිනාවක්‌ ඇඳෙනවා නොදැනීම.


ඉතින් එක ලස්සන උදාසනක ඉස්කෝලේ ලොකු මහත්තය පාන්දරම අවදි උනා.

කුරුල්ලන්න්ගේ සද්දේ එක්ක අවදි උන ලොකුමහත්තය ජනෙල් පියන් දෙකම ඇරලා සිතල හුළඟට ගුරු නිවාසේ ඇතුලට එන්න ඉඩ හැරියා..

නැෂනල් එක ඇඳල, කොන්ඩේ පස්සට පීරලා උන්න ලොකු මහත්තය සිතල හුළඟත් එක්ක හිනා උනා. ළමයින්ට නිවාඩු නිසා කිසිම සද්දයක් නැති ඉස්කෝලේ හිතට නිස්කලංක බවක් ගෙනාවා .
එදා රාජකාරි ගමනක් යෙදුන දවසක්, එහා ගමේ ඉස්කෝලෙට.. ජනේලෙන් මෑත් උන ලොකු මහත්තය ඒ ගැන කල්පනා කලා.

ලේසියට කීවට ගමන ලේසි නෑ. ඉස්සර කාලේ ගම් දෙකක් වෙන උනේ මොකක් හරි බාධකයකින්,  එක්කෝ කන්දක් නැත්තං වනාන්තරයක්, මේ කියන ගම් දෙක මැදට වෙන්නත් රූස්ස වනාන්තරයක් පිහිටලා තිබුනා. කොයි තරම් පාන්දර පිටත් උනත් එහා ගමට යන්න දවසක් ගත වෙනවා..

මහත්තයා....

ගමන යන්න කතා කරගන උන්න පුංචි රාල එළියේ ඉඳං ලොකු මහත්තයට කතා කලා,

ආ.. පුංච් රාල අවද?

එහෙමයි මහත්තය මේ දැන් අවේ... හෙනං සුනංගු නොවී පිටත් වෙමු මහත්තය....

ඇරලා තිබ්බ ජනේල දෙක වහල දාලදොරත් ඇදගන ලොකු මහත්තයත් ගමනට පිටත් උනා.


සිතල දවස නිසා වනාන්තරය තෙත ගතියෙන් තිබුන, පුංචි රාල උදේ කෑම ගෙනත් තිබ්බ නිසා ඒ ගැන කරදරයක් වෙන්න තිබ්බේ නෑ.

වනන්තරේ සෑහෙන්න දුරක් යන තුරු ගම්මු හදාගනිපු පාරවල් එමට තිබ්බ, හරක් හොයන්න , දර හොයන්න , බෙහෙත් වර්ග හොයන්න , එකී මෙකි නොකී හැම දේකටම වනාන්තරය ගම්මුන්ට උපකාරයක්‌ උනා, මේ පාරවල් ඒ සහජීවනයෙන් නිසා ඇදුනු සලකුණු.....


ලොකු මහත්තය එහෙම හිතන ගමන්ම පුංචි රාල  එක්ක වනාන්තරේ ඇතුලට අතුරුදහන් උනා..

පුංචි රල ගමනට කියාපු ගොය්ය. මොන තරම් මහා වනාන්තරේක කරක් ගැහුවත් උන්දැට කතන්දර වලින් නම් අඩුවක් තිබ්බේ නෑ. එකක් ඉවර වෙනකොට එකක් කතන්දර කිය කිය පුංචි රාලයි ලොකු මහත්තයයි රූස්ස වනාන්තරේ මැදින් යනවා,

විසකුරු සත්තු පිරුන වනාන්තරේ බොහොම ප්‍රවේසමට අඩිය තියන්න ඕනා, සතා සරුපය හැම තැනම, තනියා වලහ කොටිය වගේ නපුරු සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්නත් ඕනා. මේ සත්තු එලියට බහින්නේ ඉර බැහැගන යන වෙලාවට, හරියට පාර පේන්නෙත් නැති ගොම්මන් වෙලාවට වනන්තරේ කරක් ගහනවා කියන්නේ බොහොම භයානක දෙයක්. ඔන්න ඔය හේතුව නිසා තමයි පුංචි රාල වනන්තරේ මැද්දේ තිබ්බ පොඩි ගමක තෝරා ගත්තේ එදා රාත්‍රිය ගත කරන්න. මොකද එහා ගමට යන ගමන මුළු රාත්‍රිය පුරාම ගියත් යන්න බැරි බව උන්දැ දැනගන උන්නා.

ලොකු මහත්තය මේ ගම් මැද්දේ අපේ නෑ කෙනෙක් ඉන්නවා. අපි එහෙ ඉඳල පාන්දර පිටත් වෙමු. ලොකු මහත්තයට මම ආරච්චිල ගෙදර ලෑස්ති කොරලා තියෙන්නේ.

ආරච්චිලාගේ ගෙදර නම් ඉඩකඩ ඇති ගෙයක් වෙන්ට ඇති , ලොකු මහත්තය හිතුව.

ඔන්න ඉර බැහැගන යන හැන්දෑවේ ලොකු මහත්තයයි පුංචි රාලයි අර කිව්ව ගමට ආව. ගමක කීවට ගමටම තිබ්බේ ගෙවල් 10 ක් විතර යි එක මිදුලයි. ලොකු මිදුලක් වට කරලා වටේට ගෙවල් හදල තිබුන, මේ අතර ඒ හැටි වෙනසක් නැති නමුත් පිලක් තියෙන ගෙදරක් තිබුන, පුංචි රාල කීවා "ලොකු මහත්තය අරක තමයි ආරච්චිලාගේ ගෙදර ". ලොකු හුණු පිරියම් කරපු ගෙයක් ගැන හිතාගන උන්න ලොකු මහත්තයට මේ ගෙදර දැක්කම පොඩි පසු බැස්මක් ඇති උනා. එත් ඉතින් දැන් මොනවා කරන්නද , ආපු එකේ ඉන්නත් එපාය.

ආරච්චිල ගෙදර ඉස්සරහ නතර උන පුංචි රාල උගුරේ රැල් බුරුල් ඇරලා අරච්චිලට කතා කළා.

ඒ හඬට ගෙයි ඉඳං එලිටය ආවේ බොහොම තේජස් තියන උස මහත් පුද්ගලයෙක්.

ආරච්චිලා මහත්තයෝ මෙ0 අර මං කිව්ව අපේ ලොකු ඉස්කෝලේ මහත්තය. පුංචි රාල ලොකු මහත්තයව අදුන්නලා දුන්න.

ආ අපේ මහත්තය එමු ඇතුලට ආරච්චිල ගේ ඇතුලට ආරාධනා කළා.

ගේ කිව්වට ලොකු මහත්තයට හම්බුනේ වෙනදට ආරච්චිලට අයති වෙච්ච පිල. පිල උද අලුත් පැදුරක් දාලා බොහොම ගරු සරුවට පිලියල කරලා තිබුනා.


දැන් රෑ බෝ වෙච්ච නිසා පුංචි රාලත් එක්ක පහල ඇලට ගිය ලොකු මහත්තය මුණ කට හෝදගන ගෙට ගොඩ උනා. හොද සුවඳක් දැනුන නිසා ලොකු මහත්තයට බඩගිණි වැඩි උනා. එත් එක්කම ආරච්චිලා අමුතු මේසයක් වගේ එකක් අරන් ඉස්සරහට ආවා. එක කනප්පුවක් වගේ. ඊට වඩා පොඩියි එක කකුල අගින් තුනට බෙදිලා . මුදුන රවුම් මේකට කිව්වේ කූරු අඩිය කියලා. මේ කුරු අඩියේ තමයි කෑම බෙදල තිබුනේ. මස් මොනවදත් එක්ක තව තව මාළු පිනි සෑහෙන්න තිබුන නිසා ලොකු මහත්තයත් සෑහෙන්න කෑවා. කාල ඉවර වෙලා ගෙනත් තිබ්බ වතුර එකෙන්  අත හෝදගන වතුර බීලා ටිකක් දිග ඇරෙන්න හදනකොට පොඩි කොලු පැන්චෙක් ඇවිත් කූරු අඩිය අලුත් කළා. මේ පාර තවත් ගොඩක් බතුයි, මී කිරි හට්ටියකුයි, ගෙනත් තිබ්බ. තවත් බත් කන්න බැරි නිසා ලොකු මහත්තය මී කිරි හට්ටිය විතරක් කෑවා. කාලා ඉවර උනාම අර පැන්චම කූරු අඩිය අරන් ගියා. කොහොමෙන් හරි සැහෙන්න කාපු ලොකු මහත්තයට නින්ද ආවේ නෑ.

මේ අතරේ ගෙදර කට්ටිය කන්න පටන් අරන් , ගෙයි මැද කෑල්ලේ ඉඳං එයාල කෑම කනවා ලොකු මහත්තයට පේනවා.එක එක මාළු පිනි එක එක හට්ටි වල තිබුනා. මෙයාලට කෑමෙන් නම් අඩුවක් නැති පාටයි , ලොකු මහත්තයා හිතුවා. ඒ මදිවට කන්න ගියාම යක්කු වගේ කනවා. හේන් කොටන උදවියනේ, කන්න පුළුවන් ඕන තරම්. මේ ගමේ අනික අයටත් ඔහොම කන්න තියනවද දන්නේ නෑ . ලොකු මහත්තය අර කට්ටිය දිහා බලාගන කල්පනා කරනවා. බත් කාලා ඉවර උන ගමන් ඒ ගොල්ලෝ කිරි කන්න ගත්තා. හැබැයි ලොකු මහත්තයා කාපු විදිහට නම් නෙවේ. අත හේදුවේ නෑ . කූරු අඩිය උඩට ආයෙත්  බත් බෙදාගත්තා, පොඩ්ඩක් නෙවේ තවත් ගොඩක්. ලොකු මහත්තය ඔහේ බලාගන ඉන්නවා. ඊ ලඟට කරපු දේ දැකල ලොකු මහත්තයට ඇස් උඩ ගියා. ඒ ගොල්ලෝ කිරි හට්ටිය ඒක උඩට හලා ගත්තා. ඊට පස්සේ හොදට අනලා කන්න ගත්ත . මේ කන විදිහ දැකලා ලොකු මහත්තයට හරියට දුකයි. අපරාදෙ නේද දුන්න එක කෑවේ නැත්තේ කියලා. මේ කන විදිහ බලගන උන්නත් අස හිතෙනවා. එත් එකක්ම මෙහෙම කන්න මහා පෙරේත කමකුත් ඇති උනා. කොහොමින් හරි අපිට ගිය ගමන් මෙහෙම කන්න ඕනි කියල ලොකු මහත්තය හිතා ගත්තා. පහුවදාට එලි වෙලා පුංචි රාල ආවා. අරච්චිලට ස්තුතී කරපු ලොකු මහත්තයයි පුංචි රාලයි යන්න පිටත් උනා. පිටත් උනා කිව්වට තව ආපු ගමන අවේ නෑනේ උදෙන්ම පිටත් උනේ ඉස්කෝලෙට යන්නනේ, මේ උන්න තැන ඉඳං එහා ගමේ ඉස්කෝලෙට එච්චර දුරක් නැති නිසා. ගිය කරනෙත් ඉස්ට කරගන උදේම්ම ආපහු එන්නත් මේ දෙන්නට පුළුවන් උනා.

යන ගමන් වෙන පාරකින් ආව නිසා අර ගෙදර අයෙත් නවතින්න බැරි උනා , කිරියි බතුයි පෙරේත කමේම ලොකු මහත්තය ගෙදර ආව.

ගිහින් ඇවිත් ඉස්සල්ලම කල වැඩේ මොකද්ද දන්නවද . බතුයි කිරියි ගෙන්නගන එකට අනාගන කෑව එක.

"ඒක පුදුම රසයි පුතා". පස්සේ දවසක ඒ ලොකු මහත්තය හෙවත් මගේ සීයා මට කිව්වා.













No comments:

Post a Comment

 

Sample text

Sample Text

Sample Text